බුකියේ මං

14 ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි


ඉස්සර සිංහල ගැමි සමාජයේ ගැමියන් ජීවත්වූයේ විශාල සමාජයක එක්තරා කොටසක් හැටියටයි. ඒකට අර්ධ සමාජයක් කියලත් කියනවා. ගැමි සමාජය තුළ ජීවත්වන පිරිස දෙයාකාරයි. එනම්,

1. සාමාන්‍ය ගැමියන්.
2. නගරය කේන්ද්‍ර​ කරගෙන ජීවත්වන පිරිස. (නොගැමියන්)


ගැමියන්ගේ සිතුම් පැතුම් මූර්තිමත් වන්නේ ගැමි සංස්කෘතියෙන්. ඒ සංස්කෘතිය ගෝත‍්‍රිකයන්ට සාපේක්‍ෂව කිසියම් ඉහළ දියුණු මට්ටමක පැවතුනා. එනම් දියුණු වූ ලේඛන කලාව, කලා ශිල්පය, වාරිමාර්ග ක‍්‍රම ආදියෙන් සමන්විත වූ සංස්කෘතියයි. මේ ගැමි සංස්කෘතියේ මූලික සම්ප‍්‍රදායන් දෙකක් තිබෙනවා.

1. චූල සම්ප‍්‍රදාය
2. මහා සම්ප‍්‍රදාය


මේ දෙකේ එකතුවෙන් ගැමි ශිෂ්ඨාචාරය හැදෙනවා. සාමාන්‍ය නූගත් ගැමි ජනතාව චූල සම්ප‍්‍රදායටත්, ප‍්‍රභූන් හෙවත් නොගැමියන් මහා සම්ප‍්‍රදායටත් අයත් වෙනවා. ඒ කියන්නේ චූල සම්ප‍්‍රදාය බොහෝදුරට සරලයි. මහා සම්ප‍්‍රදාය දාර්ශනික අතින් ගැඹුරු මට්ටමක පවතිනවා. කෙටියෙන්ම කියනවා නම් පාලකයන්, සාහිත්‍යකරුවන්, පණ්ඩිතයන්, කලාකරුවන් ආදී පිරිස පොදුවේ දෙවන ගණයට හෙවත් මහා සම්ප‍්‍රදායට අයත් වෙනවා.


ඇත්තටම මොකක්ද මේ සිංහල සාහිත්‍යය කියලා කියන්නේ? ගැමි කතාවක, ජාතක කතාවක, කෙටි කතාවක, කවියක හෝ ගීතයක අඩංගු සාහිත්‍යයමය වටිනාකම අපි කොහොමද තේරුම් ගන්නේ? සිංහල සාහිත්‍යයත් සමඟ බැඳී පවතිනවා යැයි කියන උපමා, රූපක, සංකේත කියලා කියන්නේ මොනවද? ඇත්තටම සිංහල සාහිත්‍යය කියන්නේ තේරුම් ගන්න බැරි බහුබූතයක්ද? මේ හැම දේකටම පිළිතුරක් විදිහට මම හිතුවා සාම්ප‍්‍රදායික නිර්වචන වලින් තොරව බොහොම සරල ආකාරයට සාහිත්‍ය යනු කුමක්ද සාහිත්‍ය රසය යනු කුමක්ද අවබෝධ කරගැනීම සඳහා ලිපියක් ලියන්න.

අපේ ගැමි කතාකරුවා තම නිර්මාණ තුලින් ඉහතින් පෙන්වා දුන් අප සමාජයේ නූගත් සහ බුද්ධිමත් යන සමාජ ස්ථර දෙකටම ආමන්ත‍්‍රණය කරනවා. ඒ නිසාම ඔහු තම එකම නිර්මාණය තුලින් කතා දෙකක් මුදා හරිනවා. එහි පළමුවැන්න වන්නේ කතාවේ මතුපිටින් පෙනෙන ඉතා සරල කතන්දරයයි. එය සමාජයේ නූගත් ගැමියන් ඉලක්ක කරනවා. එම සරල කතාවේ යටින් දිවෙන මනෝවිද්‍යාත්මක එසේත් නැතිනම් සාහිත්‍යයමය වටිනාකමකින් යුත් කතාන්දරය දෙවන කතාවයි. එය ඉලක්ක වන්නේ ගැමි සමාජයේ දෙවන ස්ථරය හෙවත් බුද්ධිමතුන් කොටසටයි. අපි මෙය ගැමි කතාවකින්ම තේරුම් ගනිමු.

ඔන්න එකෝමත් එක කාලයක අපේ රටේ ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලත් ගමහාමිනේත් ජීවත් වුනේ අනෙකුත් ගැමි පවුල් වගේම මහපොළවත් එක්ක ගැටෙමින් දහදිය කඳුළු වගුරවමින්. දවසක් ගමරාල සුපුරුදු ලෙස හේන කොට කොටා ඉන්න විට දිව්‍යලෝකේ ඉඳලා සුදු අලියෙක් ඇවිත් දිව්‍යලෝකෙට යන්න ආරාධනා කරනවා. තමා මෙතෙක් කල් විඳි සියලු දුක් දොම්නස් නසාලන්න හොඳම මාර්ග​ය දිව්‍යලෝකේ යෑම යැයි සිතූ ගමරාල තම හාමිනේත් තවත් කීපදෙනෙකුත් කැටුව දිව්‍යලෝකෙ යන්න සූදානම් වුනා. පළමුව ගමරාල අලියාගේ වලිගයෙත් පසුව ගමහාමිනේ ගමරාලගේ කකුල් දෙකෙනුත් ආදී වශයෙන් සියල්ලෝම පිළිවෙළට දිව්‍යලෝකෙ යන්න පිටත්වුනා. මෙහෙම යන අතරේ ගමහාමිනේ ගමරාලගෙන් අහනවා “දිව්‍යලෝකේ තියෙන වංගෙඩිය කොච්චර විතර ලොකු ඇතිද?” කියලා. මෙයට පිළිතුරු වශයෙන් ගමරාල “මෙන්න මෙච්චර විතර ඇති” කියමින් දෑත් පළල් කර ප‍්‍රමාණය පෙන්වීමට උත්සහගත් සැනින් සියලුදෙනාම එකා උඩ එකා බිම ඇද වැටුනා.

මේ තමයි ගමරාල දිව්‍යලෝකේ ගිය හැටි ගැමි කතාවේ සරල එහෙමත් නැතිනම් මතුපිටින් කියවෙන කතාන්දරය. දැන් අපි බලමු මේ කතාවේ යටින් දිවෙන එහෙමත් නැත්නම් සාහිත්‍යයමය වටිනාකමක් සහිත දෙවන කතාන්දරය මොකක්ද කියලා. ගමරාළ යනු නැතිබැරි නිර්ධන පංතිය නියෝජනය කරන කෙනෙක්. ඔවුන් පොළවේ පයගසාගෙන පොළවත් සමඟ පොරබදමින් ජීවන අරගලයේ යෙදෙන අයයි. ගමරාළ ඇතුලු නිර්ධන පංතිය පිළිබඳව කිසිඳු තෙතක් අනුකම්පාවක් නොමැති තවත් කොටසක් අපේ සමාජයේ ජිවත් වෙනවා. ඒ ඇතිහැකි ධනපති පංතියයි. ගමරාළලාට අනුව ධනපතියන් ජිවත් වන්නේ දිව්‍යලෝකයේ. ගමරාළලාටත් හිතේ කොනක ආශාවක් තියෙනවා ඒ සැපසම්පත් විඳින්න. ඒත් ඒකට මේ ධනපති මුදලාලිලා ඉඩ දෙන්නෙ නෑ. වී ටික, කුරහන් ටික, බිත්තර ටික, කිරි ටික හොඳ මිලකට විකුණාගන්න බැහැ. තම දහදිය කඳුළු වපුරා සරිකරගත් අස්වැන්න මුදලාලිලා කොල්ලකාගෙන යනවා. නගරය ගම සූරාකනවා කියලා මාක්ස්වාදී න්‍යායෙන් කියන්නෙත් මේකටම තමයි. ඒ නිසා ගමරාළලාගේ දිව්‍යලෝක සිහිනය හැම අස්වැන්නකටම පසුව බිඳවැටෙනවා.

“එන්න, දිව්‍යලෝකයට යන පාර අපි පෙන්වන්නම්” කියලා ගමරාළලාට ගොඩක් අය දෑත් දිගුකරනවා. ඒ අතර මුදලාලිලාගේ, දේශපාලකයන්ගේ වගේම සමාජයේ බොහෝ ප‍්‍රභූවරුන්ගේත් දෑත් තියෙනවා. නමුත් ඒ දිගු කරන දෑත් “සුදු අලියෙක්” බව ගමරාළලාට වැටහෙනකොට ඒගොල්ලො පස්ස බිම ඇනගෙන ඉවරයි.
ගැමිකතාකරුවා කියන්නේ සමාජය විනිවිද දකින ඒ වගේම අනාගතයද දැකීමේ අපූරු ඥානයකින් හෙබි පුද්ගලයෙක්. ඉහත කතාකරුවා එදා සමාජයේ සැබෑ තත්ත්වය විනිවිද දකිමින් එම තත්ත්වය අද සමාජයට කෙතරම් උචිත ලෙස ගලපා තියෙනවද බලන්න. මේ කතාවේ “සුදු අලියා” සහ “දිව්‍යලෝකය” යන වචන කතාකරුවා සංකේතාර්ථයෙන් යොදාගෙන ඇති ආකාරය ඔබට වැටහෙනවා ඇති. අපට මේ කතාවේ තවත් විශේෂ ගැමි භාණ්ඩයක් හමුවෙනවා. ඒ තමයි වංගෙඩිය. එය ගැමි නිවස තුල බහුවිධ ක‍්‍රියාකරුවෙකු ලෙස සේවය කරනවා. වරෙක පුටුවක් ලෙසත්, වරෙක ඉනිමගක් ලෙසත්, වරෙක දොර පිටුපස ආරක්‍ෂකයෙකු ලෙසත් ක‍්‍රියාකරන මෙය සමහර ගමහාමිනේලා වෙනත් පුරුෂයෙකු සඳහා රසවත්ව පිළියෙල කරගත් බත්පත සඟවා තැබිමටත් උපකාරී වෙනවා. එම නිසා මෙය විශේෂයෙන්ම ගමහාමිනේලාගේ සුපිරි භාණ්ඩයක්. එදා ගැමියා “දිව්‍යලෝකයෙන්” මහා ලොකු දේවල් බලාපොරොත්තු වුනේ නැහැ. අඩුම තරමේ තිබෙන වංගෙඩියට වඩා ටිකක් හරි ලොකු වංගෙඩියක්වත් ලබාගැනීමේ අහිංසක බලාපොරොත්තුව ගැමි කතාකරුවා මොනතරම් ලස්සනට පෙන්වා දෙනවාද? මොනතරම් අගේට ගැමි සිත විනිවිද දකිනවාද?

ගිහාන් කාරියවසම්  විසින් ලියන ලද ලිපියකි... 
Comments
14 Comments

14 comments:

  1. ඇත්තෙන්ම ඇඩෙනවා නේද?????????

    ReplyDelete
  2. මට හරි අමුතුයි මේක කියවලා..
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබේවා

      Delete
  3. මට ගහපන් මොකේකින් හරි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මේ ලිපිය මීට කලිනුත් මේකේ ලියවුනාද?

    ReplyDelete
  5. අනේ
    පනේ
    තනේ
    පෙනේ

    මේකත් සාහිත්‍ය කෘතියක් මානවක.

    ReplyDelete
    Replies
    1. මේක කිව්වේ කුමාරතුංග මුණිදාස, මගේ මතකය නිවැරදි නම්.. එක්තරා සාහිත්‍ය හමුවක දී පොඩ්ඩක් විතර බරසාර ලලනාවක් මුනිදසුන්ට අභියෝග කළාලු තනි වචනේ පේළි හතරේ එළිසමය සහිත කවියක් කියන්න කියල. එතුමෝ කිව්වේ මේක ලු. (අවසාන පදය "පෙනේ" ද, නැතිනම් "වැනේ" ද?)

      Delete
    2. ඔබ හරි අවසන් පදය පෙනේ වගෙයි මට මතක....ෂුවර් ම නෑ.

      Delete
  6. ලිපිය එල ආ....
    side bar එකේ අකුරු පේන්නෙ නෑ නේ....

    ReplyDelete
  7. පරණ කතාවට අළුත් අරුතක් වගේ ද?..

    ReplyDelete
  8. දැන් කාලෙට ගැලපෙන පරණ කතාවේ රීමික්ස් එක වගේ මේක..

    ReplyDelete
  9. තැන් දේකේදිම කියෙව්වො...........ඇඬෙනව නේ..???

    ReplyDelete
  10. කදිම අර්ථ නිරූපනයක්...

    ReplyDelete
  11. සැබෑව සැබෑවටම දක්වලා..

    ReplyDelete

හිතුනේ මොනවද?