බුකියේ මං

14 සුදු වදමල්

කෙල්ල වෙනදාටත් වඩා කලින් අවදි වුයේ ඇයගේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට යෑමට තිබුනේ අද නිසාය.ගුවන් අනතුරකින් තාත්තා මෙලොව හැරගිය දා පටන් ඇයට ඉගැන්වීමටත් ඇයව ලොකු මහත් කිරීමටත් කෙල්ලගේ දුප්පත් අම්මා විඳි අපා දුක ඇයට ඉස්පිල්ලක පාපිල්ලක අඩුවකින් තොරව මතකයේ ඇත.අද පැවැත්වෙන්නේ ඇය දැමු සියගානක් වූ අයදුම් පත් වලින් ඇයට ප්‍රතිචාර දැක්වූ පළමු සම්මුඛ පරීක්ෂණයයි.අද ඈ සමත් උවහොත් අම්මාගේ වීරිය පාරමිතාවට ඇයට අත්වාරුවක් වන්නට හැකි වනවා නිසැකය.

තාත්තාගේ මතකය ඇයව අතීතයට රැගෙන යයි.හොඳ අය ඉක්මනට දෙවියන් ලඟට ගන්නවා යැයි කුඩාකල ඇයට කවුදෝ කිව්වා මතකය.ඒ මුසල දවස...ඇයට පිය සෙනෙහස අහිමිකල  ගුවන් අනතුර...කඩා වැටුන මිග් යානය...චිත්තරූප එකක් පසුපස එකක් ලෙස ඇයගේ දෑස් මත  ඇඳී නොපෙනී යයි...තාත්තා කඩේ ගියේ කෙල්ලට මාළු බනිස් එකක් අරන් ඒමටය.කෙල්ලට තවම ඇත්තේ තමන් ගැනම ඇති අප්‍රසාදයකි.ඇයට එදා මාලුබනිස් උවමනා නොවුනානම් තාත්තා කඩේ යන්නේද නැත.තාත්තා කඩේ නොගියානම් අනතුරට පත් මිග් යානය තාත්තාගේ හිසමත කඩා වැටෙන්නේද නැත.ඇය එදා සිට මාළු බනිස් කන්නේද නැත.



සිතේ දුක සමනය කරගනු වස් ඇය මදක් ඉලිපී තිබුණ කුරුලෑවක්‌ මිරිකන්නට පටන් ගත්තා පමණි.අම්මාගේ කට හඬ ඇයව තිගැස්සුවාය.

මොකද ළමයෝ ඔය ගඩු කොනිහ කොනිහ ඉන්නේ..ඉක්මනට ගිහින් නා ගන්න..පරක්කුත් වෙනවා නේද?

හා අම්මේ...මේ යනෝ...

කෙල්ල ලිඳ ලඟට ගියේ කෝල බැල්මක් අම්මාට හෙලනවාට අමතරව කෙළිලොල් විලාසයකිනි.

ඔහොම හිනා වෙන්න එපා මගේ රත්තරන් මැණික..ඔයාට මගේ ඇස්වහ වදීවී.

මගේ අම්මා සුදුගේ ඇස්වහ මට වදින්නේ නෑ.
--------------------------------------------------------------------------------------------
අද පැමිණියේ වෙනදාට වඩා කලින් බව කෙල්ලට සිහිවුයේ ලිඳ ලඟට ගිය විටදීය.වෙනදාට නම් ඇය දිය නා අවසන් වනතෙක් ඇයදෙස නෙත් නොපියා ආරක්ෂාවට සොයාබැලීම් කරන ඉස්සරහ ගෙදර ගුණපාල මාමාත් අල්ලපු ගෙදර තුෂාර අය්යාත් නැති කම ඇයට ගෙන දුන්නේ සියුම් බියකි.

බිය පහව යෑමටත් සීතලට ඇඟ පුරුදු කිරීමටත් ඇය සීතල දිය දෝතක් මුහුණට ඉසගත්තාය.නුවරඑළි සීතලකින් සර්වාංගයම හිරිවට්ටන යද්දී  ඇය හෙමිහිට එබුනේ ලිං ගැට්ටේ සවිකර තිබු කැඩපත දෙසටය.කෙල්ල උපතින්ම ලස්සනය සිරියාවන්තය.පැරණි කවියක පදවැල් මෙන් ඇයගේ ශරීරයේ කෝමල රේඛාද මැනවින් ඔප්නැංවී ඇත.කෙල්ලගේ මුහුණෙහි වන මල් ගෝමරද , ගෙලෙහි වැටුන පෙති ගෝමරද , ළමැදෙහි පැතිරුණ අළුහම් ද  කොස් ගහේ කොළවලින් පෙරී එන අරුණාලෝකය හා එක්වී මවන්නේ අමුතුම චිත්‍රයකි.ඇයට තම රූපය දෙස බලා ඉඳීමද විනෝදයකි.නමුත් නාස්ති කරන්නට වෙලාවක් නොමැත.වත සුසිනිදු වනතුරු හා සුදු වනතුරු සබන් ඉලිය යුතුය.ඊටත් වැඩියෙන් හීතලේම දිය නෑ යුතුය.

කෙල්ල දිය නෑවේ ඕනාවට එපාවටය.එහෙං මෙහෙන්ය.ඒ නොනා බැරිකමටය.
----------------------------------------------------------------------------------------
දැන් තියන ලොකුම ප්‍රශ්නේ සාරිය ඇඳීමය.ගියපාර අවුරුදු උත්සවේ අවුරුදු කුමාරිට ඉන්නට ඇන්දාම ඇරෙන්න කෙල්ල සාරියක් ඇඳලාම නැත.ඒකත් හෙන මොඩ් විදියටය.ඉන්ටර්විව් එකට එහෙම අදින්නද බැරිය.අල්ලපු ගෙදර අක්කාගෙන් ඉල්ලාගත් රතු ඉරි වැටුන සුදු පැහැති චාම් සාරිය ඇයට ගෙන ආවේ අමුතුම  සුන්දරත්වයකි.කෙල්ල දැන් රෑ පිපි උදේම පොලවට වැටුන රෑ කුමාරි මලක් මෙනි.සැකයක් නැතිවම වරක් බැලූ අයෙකුට තවත් වරක් බැලීමට තරම් සුන්දර සිරුරක් ඇය සතුය.

මව කාමරයට ආවේ දියණියගේ ලස්සන ටික වෙලාවක් ඇයට නොපෙනෙන සේ බලා සිටීමෙන් අනතුරුවය.මුවගට නැගුන සිහින් ආඩම්බරකාර හිනාවක්‌ සමගම ඇයට හීල්ලිනි.

අනේ දුගේ තාත්තා හිටියනම් මේවා බලන්න.

තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලන් ඇති අම්මේ...මතක නැද්ද ගුරුන්නාන්සේ මාමත් කිව්වා අපේ ගෙදරට පෙරේත බැල්මක්ද කොහේද වැටිලා තියනවා කියලා..ඒක නෙවෙයි අම්මා කන්න ඉව්වද?

මොනවද දරුවෝ ඔය කන බණේ ... ඔහොම කාලා කඳ බඩ පතරංග උනොත් අම්මප මිනිහෙක් වත් බලාවිද..ආන් කොස් තම්බලා කට්ට කරවල හොද්දක් හදලා තියනවා කන්න....

මගේ හොඳම හොඳ සුදු අම්මා.... 

----------------------------------------------------------------------------------------------------

කෙල්ල පාරට ආවේ සාරිය අත්දෙකෙන් උස්සාගෙනය...ඇයට ඉවසන්නම බැරි උනේ සාරිය පෑගීමත් පාගෙන නිසා ලිහෙන්නට හැදීමත් යන දෙකමය.සාරිය දැනටමත් ගැලවිලාදැයි බියෙන් යුතුව පාරේ අයිනේ සිට ගත ඇයට වැඩි වෙලාවක් බලා සිටීමට සිදු නොවුයේ තරමක් සෙනග පිරුණ 120 බස් එකක් කෙල්ල ළඟ නැවැත්වූ නිසාය.

කෙල්ල දනිපනිගා බසයට ගොඩ උනේ කොන්දොස්තරගේ කතා අසන්නට කලින්ය...ඇතුලට ගිය ගමන්ම වට පිට බැලුවත් ඇයට වාඩිවීමට අසුනක් සොයා ගත නොහැකි වුයේ දැනටමත් අසුන් වල මිනිසුන් වාඩි වී සිටීමත් කිහිප දෙනෙකු හිට ගෙන යාමත් නිසාය.බස් නැවතුම් කීපයක් පසු වූ විට බස් එක තදබද වෙන්නම සෙනග පිරුණි.කෙල්ලගේ ඉන්ටර්වීව් දැහැන බිඳුනේ ඉදිරියට යාමට තෙරපුණ කෙනෙකු ඇගේ සාරිය පෑගීම නිසාය.

ශික්...මේ මගුලේ සාරියක් ඇදන් එන්න උනා නේ මේක කොයි වෙලාවේ ගලවන් වැටේවිද දන්නේ නෑ.අනික සෙනග තද උනොත් මේ සාරිය පොඩි වෙලා යාවි...හම්මා මේක මදින්න තිබුන අමාරුවක්...කෙල්ල තමාටම කියා ගත්තාය.

එහෙත් මොහතකින් ඇයට සිතුනේ දෙවියන් තමන්ව අමතක කර නැතැයි කියාය.ඒ ශාන්ත පෙනුමක් තිබු මැදිවියේ කෙනෙකු හරියටම අයගේ පිටු පසින් හිට ගැනීම නිසාය.

මේ මනුස්සයා නම් එවලා තියෙන්නේ,ම දෙවියෝ මයි.නැත්තන් මෙච්චර ගැස්සෙන බස් එකෙත් මගේ සාරියට දැම්ම හේත්තුව නැති වෙන්න දෙන්නේ නැතුව ඉන්න විදියටම ඉන්නේ.මේ මනුස්සයට තේරෙනවා ඇති මගේ සාරිය පොඩි වෙන බව.කෙල්ල පිටුපස හැරී ඔහුවෙත තම ප්‍රණාමය පුද කරන සිනහවක් පෑවාය.ඔහුද මද සිනහවක් පාමින් අහක බලා ගත්තේ ඇයි දැයි ඇයට තවම සිතා ගත නොහැකි උනි.

දුෂ්කර වූ ගමනකින් පසු බස් රථය කොටුවට ලං වුවා පමණකි.මෙතෙක් වෙලා ඇගේ සාරියට රැකවරණය සැපයු තැනැත්තා කලබලයෙන් මෙන් බස් රථයෙන් බැස ගියේ ඇයටත් නොකියාය.

ඇයට අද දවස විශේෂය.හැම තැනම සුභ ලකුණුය.කෙල්ල පාරට ආව ගමන්ම බස් එකක් ඒමද , බස් රථයේදී ඇයගේ සාරිය පොඩි නොවන්නට පුද්ගලයෙක් දෙවියන් එවීමද ඇයට සිතා ගත නොහැක.

පව් අහිංසක මනුස්සයා මට උදව් කරන්න ගිහින් බහින තැනින් බැහැ ගන්න බැරි වෙන්න ඇති.සුවල්ප උදව්වක්ද මට කරේ.වෙන එකක් තියා ලිහිච්ච පොටවල් තද කරන්න සාරිය ඇතුලට අතත් දැම්ම නේ.හොද වෙලාව නෙවෙයි නම් එහෙම වේවිද...

බසය නැවැත්වූ සැනින් කෙල්ල එලියට බැස්සේ දැනටමත් සම්මුඛ පරීක්ෂණයට ඇති කාලය ලං වී ඇති නිසාය.
------------------------------------------------------------------------

මදනායක හාර්ඩ්වෙයාර් 

රතු අකුරින් ලොකුවට ලියු  අකුරු පෙළ ඇස ගැසුනේ තවත් මීටර් සීයක් පමණ ඇවිද ආවාට පසුය.මහන්සියට සහ චකිතයට ගැස්සෙන හදවතක් සමග කෙල්ල ගේට්ටුවෙන් ඇතුලට ගියාය..

                                                                            
                                                                            
                                      මතුසම්බන්ධයි           



                     
Comments
14 Comments

14 comments:

  1. අවංකෙන්ම කිව්වොත් පොඩි අතාත්වික ගතියක් දැනුනා... :(
    බලමුකෝ ඉතුරු ටිකත් :D

    ReplyDelete
    Replies
    1. අතාත්වික නෙමෙයි වෙන අමුතු සීන් එකක් දැනුනෙ.
      හරි හරි ආයෙ කියෙව්වම තමා තේරුනේ ;) :D

      Delete
  2. ඇයි බන් කතාවල කෙල්ල හැමතිස්සෙම පට්ට ලස්සන, ඇවරේජ් ටයිප් කෙල්ලොන්ට කතා නැද්ද?
    අර කිව්ව අස්වාබාවික ගතිය නම් තේරුණා, ඇයි එහෙම කලේ කියල තමයි තේරුනේ නැත්තේ...ඊලග කොටසින් වත් තේරුම් ගන්න බලමු...
    ''මොනවද දරුවෝ ඔය කන බණේ ... ඔහොම කාලා කඳ බඩ පතරංග උනොත් අම්මප මිනිහෙක් වත් බලාවිද'' ගමක අම්මා කෙනෙක් මෙහෙම කියයි කියලා හිතන්නත් බැරිය..

    ReplyDelete
  3. මට මේක කියවද්දි පරණ නව කතාවක් මතක් වුනා නම මතක නැ ලස්සනයි ඉතුරු ටිකත් දාමුකො :) :)

    ReplyDelete
  4. මේක කියවද්දි මටනම් නවකතා නීපයක්ම මතක් වුනා. ;) :p මේක එව්වාගෙ අලුත්ම වර්ෂන් එකක් වගේ.., :D

    බලමුකෝ ඊලඟ කොටසෙ මෙකට මක් වෙයිද කියලා :D

    ReplyDelete
  5. මට මතක විදියට සුජීවගේ වර්ෂා පොතේ මෙහෙම අම්මගෙයි දුවගෙයි සීන් ටිකක් තිබ්බා... හි හි... හැබැයි ඉතිං පොතේ නම මාරු වෙලාද දන්නෑ.. මොකෝ ආයිත් පොතෙන් පොතට මහ ලොකු වෙනස්කම් තියෙනවයැ.. එකම ටිකනේ... හි හි

    ඇත්තටම මටත් තියෙන ලොකුම පුරස්නයක් තමයි කෙල්ල හැමතිස්සෙම පට්ට ලස්සන වෙන්නෙ මොකද කියලා.... සියලුම ස්ටෑන්ඩර්ස් වලට හරියන්න.. සුදු, උස, ඉඟ සුඟ ගත හැකි මිටන ගානට, කොණ්ඩේ දිගට, කකුල් රෝස පාටට, මූණේ කුරුලෑ නැති, තිබ්බත් එච්චර පේන්න නැති වෙන්න... ඒ මදිවට එහෙම කෙල්ලන්ගේ හැමතිස්සෙම තාත්තාත් නෑ... හිටියොත් එක්කෝ ඔත්පල වෙලා, නැත්තම් රස්සාවක් නෑ.... හි හි

    ReplyDelete
    Replies

    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  6. ප්‍රායෝගික සිද්ධියක් එක්ක කතාව බද්ධ කර ගනිමින් ගත්ත ආරම්භය නම් පට්ට. ඒත් කතාවේ අතාත්වික භාවයක් නම් දැනට දැනෙනවා.. ඉතිරි ටික නැතිව හරියටම කියන්න අමාරුයි.. අර බඩජාරි සීන් එක නම් දන්න කෙල්ලෙක් ඒම් කරන් ලියපු එකද්ද කියලත් හිතෙනවා :D

    ReplyDelete
  7. ඉතිරි කොටසත් බලලම ඉම්මුකෝ මොනව හරි කියන්න.

    ReplyDelete
  8. කෙල්ල ටිං කිරි ගාගෙන වගේ

    ReplyDelete
  9. සිරාගේ කාමරේ ඉඳලා ආවේ.... අද ඉඳලා මමත් එන්නම් හැමදාම මේ පැත්තේ...

    ReplyDelete
  10. අප්පට සිරි කොටස් වශයෙන් යන එකක් ද?.

    ReplyDelete
  11. ඉතුරු ටිකත් ඉක්මනට ආව නම් හරි :)

    ReplyDelete
  12. //තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලන් ඇති අම්මේ...මතක නැද්ද ගුරුන්නාන්සේ මාමත් කිව්වා අපේ ගෙදරට පෙරේත බැල්මක්ද කොහේද වැටිලා තියනවා කියලා..//
    හඃ හඃ හඃ හඃ
    ආතල් . හා .

    ReplyDelete

හිතුනේ මොනවද?