බුකියේ මං

13 පරිණාමය වූ ආදරයක අසුන්දර අතුරුපලය.

ඕනෑම ආදරයක් ආරම්භ කල වහාම එය පිවිතුරු ආදරයක්ද නැතහොත් ආත්මීය ආදරයක්ද යනුවෙන් වර්ග කිරීමට තැත් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවේ.ඩාවින්ගේ ස්වභාවික වරණය නැත්නම් පවතිනා තත්වයට ගැලපෙන අය පමණක් දිවිගලවා ගැනීම, ජීවමානව පරිණාමය වන ආදර කතාවක් තුලද පවත්නා මුලික පදනම හා පහසුවෙන් අර්ථ දැක්විය හැකි සාධකය වේ.එනම් ආදර කතාවක් පරිපුර්ණත්වයට පත්වීමට නම් නොයෙකුත් වූ සංවේදී ජීවන අවස්ථා පසු කර යෑමට සිදුවීම අනිවාර්ය නියතයකි.එනම් එකී පරිණාමික අවස්ථාවේදී දෙදෙනා නොගැලපේ නම් ආදර කතාවද බොහෝවිට එතනින් අවසන් වේ...


මා මෙම සටහන තැබීමට සිතුවේ බොහෝ කලකට පෙර සිටය.නමුත් ආදරයක විකාසනයේ අවස්ථා සම්බන්දය දැක්වීම කෙරෙහි ඇති යම් යම් ඌනපුර්ණ සංසිඳ වීම වස් සහ කතාවේ අවසාන ජවනිකාව තෙක් වන සියලු සිද්ධි දාමයන් පාටකයන් ගේ පහන් සංවේගය පිණිස නැවත රඟ දැක්වීම වෙනුවෙන් යම් කිසි මාධ්‍යක අඩුපාඩුව දැනුන බැවින් , නැවතත් ආදරයක පරිනාමිය ජීවන අවස්ථා සලකා බැලීම උදෙසා මෙතුවකට මා විසින් එලි දක්වනු ලැබූ කාව්‍ය කිහිපයක් විචාරය කරමි...

යුවලක් ආදරෙන් බැඳුන විගසම ඔවුන් දෙදෙනා සහමුලින්ම ලංවන්නේ නැත.එවැනි හෘදයාංගම එක වීමකට නම් ඔවුන් කතා කල යුතුය.තව දුරටත් ඔවුනොවුන්ගේ ගති ගුණ ආශාවන් ගැන දැනගත යුතුය.ඔවුනොවුන්ගේ රුචි අරුචි කම් ප්‍රයෝගික ලෙස විඳගත යුතුය.එහෙත්.කතා කිරීමෙන් පමණක් දෙදෙනා හඳුනා ගත හැකිද?.ළදරු ආදරයක පැවැත්මට රාගය කෙසේ වෙතත් අනුරාගය බෙහෙවින් වැදගත් බව සමාජ මුලාශ්‍ර පරිශීලනයේදී පෙනීයයි.මෙතුවක් දිනක් බස් රථයක,අවන්හලක පෙම් කල යුවලක් මුලින්ම ඔවුනොවුන් තවත් ලංවීමට භාවිතා කරන්නේ ස්වභාවික සෞන්දර්යෙන් යුක්ත වූ ස්ථානයක් බව කිසිම සැකයකින් හෝ විවාදයකින් තොරව පිළිගත හැකි කරුණකි.ස්ථානය දිය ඇල්ලක් , ගන්තෙරක් හෝ මුහුදු වෙරලක් විය හැක.සිදුවීමෙහි චිත්ත රූප මැවීම පහසු වනු වස් පුරුදුකාරයාගේ කවිය උපුටා දක්වමි.


දැන් ඔබට චිත්ත රූපයක් ඇත.මදක් සිතන්න එම යුවල ඔවුන්ගේ ආදරයේ එක් සුවිශේෂී කඩ ඉමක්‌ පසුකර ගියා පමණි.ඔවුන් ආදරය තුල අනුරාගය සොයා ගනී.ටික කලක් ගතවන විට එම අනුරාගය ඔවුනට එතරම් විශේෂ දෙයක් නොවන අතර එය ඔවුන්ගේ එදිනෙදා කටයුත්තක් බවට පත්වේ.සිහියට ගත යුතු තව කරුණකි.අනුරාගය වැඩිපුර භාවිතා වීම නිසා රාගය ඉස්මතු වීම වැළක්විය නොහැක්කේමය.එවිට ඔවුන් තව තවත් අත්දැකීම් වලට ආශා වන අතර ලිංගිකත්වය කෙරෙහිද සියුම් නැඹුරු තාවයක් ඇතිවේ.ඔවුන් ආදරයේ නව මානයක් සොයා යෑමට පෙළඹීම අනිවාර්ය වීම ස්වභාවික සංසිද්ධියකි.බොහෝ පෙම්වතුන් ඒ සඳහා සිනමා අඳුර තුල ගුලිවීමට කැමැත්තක් දක්වයි.ඔබට චිත්ත රූප අවශ්‍ය බව දනිමි.මා හාරත හේරා උපුටා දක්වන්නේ එබැවිනි.


ඔබට චිත්ත රූපයක් මැවී ඇතුවාට සැක නැත.ඔබගේ ඇස් පනාපිටම යුවලක් ඔවුන්ගේ ආදරයේ එක යුගයකින් නවමු යුගයක් දක්වා පරිණාමය  වූ බව ඔබට දැනෙනු ඇත.දැන් ආදර විකාසනයේ ඉදිරි පියවර ගැන ඔබට කිසියම් හෝ හෝඩුවාවක් ලැබී ඇතැයි සිතමි."ආත්මීය ආදරයක් සම්පුර්ණ වන්නේ සිත් දෙකින් වාගේම කයිනුත් එක් වූ විට පමණි".නැතහොත් "දෙන්නම එක්කෙනෙක් උනාම විතරයි".තුන්වෙනි පරිණාමික යුගය හෙවත්  තනිවීම.බොහෝ පෙම්වතුන්ගේ සිහිනය.චිත්ත රූප ගැන බිය නොවන්න.මා බඹසර කුරුටු ගෑවේ ඒ නිසාවෙනි.


යුවලත් ඔවුන්ගේ ආදරයත් බොහෝ දුරට පරිණාමය වී අවසානය.ඔවුන්ගේ අවසානය නම් විවාහය නම් වූ බන්ධනයයි.විටෙක තමන්ට අහිමි වූ පාරිශුද්දත්වය දඩමීමා කරගන්නා යුවතිය(නැත ඇය දැන් ගැහැනියකි.කිලිටි වූ පිරුවටය ඇය ගැහැනියක් බවට පත් කර ඇත.) පිරිමියා සදාකාලිකවම තමන් සතු කර ගනී.තවත් සාර්ථක ආදර කතාවක අවසානය එයින් සටහන් වේ.නමුත් සමහරක් ගැහැණුන් බවට පත් වූ යුවතියන්ට එම වරප්‍රසාදය අත් නොවේ.ලෝකය සැමවිටම කාන්තාවන් දෙස බලන්නේ අසාධාරණ ඇසකිනි.එම ශ්රුන්ගාරාත්මක රංගනය බොහෝවිට ඔවුන් සතුටට පත් කලත් එහි වැඩිමනක් ආත්මීය බර පැන දරන්නට වන්නේ ගැහැණියටයි.සිදුවීම එසේ නම් ඇය කල් ඉකුත් වූ භාණ්ඩයක් ලෙස හංවඩු ගැසීමට සමාජය කිසිදු ලෙස නොපසුබට වන බවද කිව යුතුමය.ඇයගේ පෙම්වතා පරමාදර්ශී  පිරිමියෙක් නම්....

"ඇයගේ පෙම්වතා පරමාදර්ශී  පිරිමියෙක් නම්" ලෙස මා අර්ථ දැක්වුයේ සමස්තයක් පිරිමින් මෙන් විවාහයට පෙර හැකි තරම් කම සැප ලබා තමන් විවාහ වන යුවතිය අති නිර්මල පාරිශුද්ද කාන්තාවක් බලාපොරොත්තුවන කිහිප වතාවක් ස්නානය කර නිවසට  ගිය පුර්ශයන්ය.මා මංගල රැයට උපදෙස් පහක් දුන්නේ ඔවුන්ටය.එය එසේනම් ඇයගේ තත්වය තවත් බැරෑරුම් බව කිවයුතුමය.


(සෑම පිරිමියෙකුම ආත්මාර්ථකාමී නොවන අතර ආර්ථික ප්‍රශ්න දෙමව්පියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් , කේන්දර වැනි ප්‍රශ්න නිසා පරිනාමය උන යුවලකට එක් වීමට නොහැකි විය හැක)    


ලිපියේ නිමිත්ත තම පෙම්වතා සමග පරිණාම යුග ගණනක් ගත කල තරුණියක් සහ ඇයගේ අත සදහටම ගැනීමට නොහැකි / අකමැති ඔහු .තුන්වෙන්නෙකු සමග ගතකරන ඇයගේ මංගල රාත්‍රිය.



දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

මෙම පද පේලි දිගේ නැවත සිතුවිලි ගෙන යන්න.සෑම ගුණවත් බිරිඳක්ම ඇයගේ සැමියා ඉදිරියේ වෛෂ්‍යාවකි.එනම් ඇයගේ හැගීම් අවදි වන්නේ ඔහු වෙනුවෙන් පමණකි.ඇය කාමුක වන්නේ ඔහු වෙනුවෙන් පමණකි.ඇයව උද්දීපනය කලේ ඔහුය.එහෙත් ඔහු අද ඇය අසල නැත.ඔහු වෙනුවට ඇත්තේ නාදුනන්නෙකි.ඔහුම සතු ඇයගේ ශරීරය අද වෙනෙකෙකු සතුය.ඇය නාදුනන්නාගේ පහස ඔහු යැයි සිතා ඉවසන්නද?.සදහටම හදවතෙහි ශේෂ වූ ඔහු ගැන ආදරණීය මතකය ගෙනෙන කඳුලට ඇය කුමක් නම්  කරන්නද?...හ්ම්ම්ම්ම්ම්...නිල්  දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා.......     


මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ
සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ .........

පුර්ව සම්භෝග ක්‍රියා ආරම්භ වී ඇත.නාදුනන්නා අතොරක් නැතිව ඇයව සිපගනියි.අහෝ අවාසනාවකි ඇයගේ සැමියා පරමාදර්ශී පුර්ශයෙකි නැතහොත් ඔහු කාන්තාවක් සන්තර්පණය කරන අයුරු හොඳින් දනී.ඇයගේ හැගීම්ද උද්දීපනය වී ඇත.හ්ම්ම්ම්.....පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ....ඇයට ඔහුගේ පහස අමතක වී ගියේ කෙසේද?...එහෙත් එහෙත්...ඇයට එය විඳවනවා හැර විඳගත නොහැකිය.මක් නිසාද යත් ඇය පරිපුර්ණ නොවන නිසාවෙනි.ඇයට ඔප්පු කිරීමට සාධකයක් නැත.සමුද්‍රයේ ගමන් කරනා නෞකා කිසිදු සටහනක් නොතබයි.එලෙසම කිසිදු සටහනක් නොමැති කල  වෙසෙසින්ම ඇතිවන්නේ සයුර නිර්මල නොවන බව නැතහොත් මින් පෙරද නෞකා ගමන් කල බවයි.ඇයට ඇති එකම පිලිසරණද එයයි.ඇය සිතන්නේ ආශ්චර්යකින් පැරණි සටහන් මැකේවී කියාය........සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ .........   

මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ


අනංග රංගනය අවසානවී දෙදෙනා දෙපැත්තකට වී විඩා නිවයි (සැමියාට ඔහුගේ කාර්යය නිමවන තුර ඇය ගැන සැක සිතුනේ නැත).  
මධු සමය එකම ගින්දර ගොඩක් වී ඇත.ඇය නිර්දෝෂී බව ඔප්පු කිරීමට නම් අග්නි පරික්ෂාවට සීතාවක් වී ගිනි ගොඩට මැදිවිය යුතුමය.එහෙත් ඒ ගින්නෙන් ඇය හළු වී දුහුවිලි වී යෑම වැළක්විය නොහැකිය.ඇයගේ පරමාදර්ශී සැමියා ඇය ඉඳුල් බව සැක කරයි.ඇයගෙන් ප්‍රශ්න කරයි.ඇයට අපහාස කරයි.ඇයව ප්‍රතික්ෂේප කරයි.බන්ධනය අවසන් කිරීමට තර්ජනය කරයි.ඇය තැවෙන්නේ ආදරයේ නාමයෙන් ඇය ලැබුවේ දුක අපහාසය විරහව සහ කාමය පමණක්ද කියාය.....හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ ......

දැන් සිංදුව අහන්න 



රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?
සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !                                                                                                                                            ** නාරද විජේසුරිය 




"හෝම් කමින් එක කවද්ද? ඒකත් හොටෙල් එකකද?"

"නෑ ඒක අපේ ගෙදර, දන්නේ නැද්ද අපේ අම්මලා ගම් වල හැදුනු අයනේ. එයාලගේ අය රෙදි නැන්ද කෙනෙක් එහෙම එක්ක එන්න ඕන කියල . . "

"ආ මේ ලේලි පොඩ්ඩ පත්තිනි අම්ම කෙනෙක් ද කියලා සැක හැරලා දැන ගන්න. බලාගෙන, ඔය පත්තිනි අම්මලගේ රෙද්දේ තුත්තිරි කාටවත් පේන්නේ නෑ.  . .හඃ හඃ හා . . ."
                                                                                                                            ** දුකා 


එකෙක් ඇවිත් ඇහුව ඒකිගෙ පෙට්ටිය කැඩිල නේද බං කියල. ඌ කතාව දන්න නිසාම ඇහුවෙ. මම ඔව් කිව්ව. ඒකිගෙ අසරණ කම කිව්ව. ඌ මට කෝ චෝක් දැම්ම. මාව බයිට් එකට ගන්න හැදුව. මම ඇහුව උබ එතකොට උබෙ නූල කඩාගත්තෙ කවදද කියල. ඌට මතක නැතුව ඇති ඌ තාම බැදලත් නැති කොට කීයක් එක්ක නිදා ගත්තද කියල. රත්තරං චේන් එක හොරු ඇවිත් ගලවන් යන්නෙ පිලිවෙලකට නෙවේ කියල ඌට අමතකයි. බෙල්ලෙ තියෙන මාලේ හොරු ඇවිත් ගාංචුවෙන් ගලවන් යන්නෙ නැහැ. උන් ඇවිත් බෙල්ලෙන් ඇදල කඩල දාල අරන් යන්නෙ. මොකද ඒ, රත්තරං කැඩුනත් වටින නිසා. අනික මාලෙ කැඩිල බිම වැටිල තිබ්බොත් එකෙක් කියනවද ඒක කැඩුනු රත්තරං මාලයක්. වටින්නෙ නැහැ. විසික් කරල දාන්න කියල. මගුල තමා. 
                                                                                                                             ** රැඩියා  


ප.ලි - ඔබ...ඔහු හෝ ඇය හෝ නාදුනන්නා විය හැක.ඔබ ඇය නම් ඔබව තේරුම් ගත හැකි නාදුනන්නෙකු ඔහු කර ගන්න.ඔබ ඔහු නම් කිසිදිනක ඔබ ඔහු වීමට ඉඩ නොතැබෙන පරිදි ඇය තනි නොකරන්න.ඔබ නදුනන්නා නම්...හ්ම්ම්ම්...සමහර විටෙක ඔබට ලැබෙනුයේ පාරිශුද්දත්වය ලෙස ලේ බිඳක් පෙන්විය හැකි ඇය නොවිය හැක.නමුත් ඇය ඔබට ඇඟ පුරා දුවන සෑම ලේ බිඳකින්ම ආදරය කරනු ඇත.     

** උපුටා ගන්නා ලදී 
Comments
13 Comments

13 comments:

  1. පට්ට.. ආයේ උපරිමයි.. මගේ අදසුත් ආකල්පත් එහෙමම තිබ්බා වගේ.. පට්ට
    යුක්ති
    අ.පේලිය

    ReplyDelete
  2. පට්ට සින්දුවක්.
    21 වෙනි සියවස වෙලත් මේ වගේ සින්දු හැදෙන එක ගැන නම් අපි දුක් වෙන්න ඕනි.

    ReplyDelete
  3. අද තමයි මේ පැත්තේ හොඳට ගොඩ වැදුනේ. දෙබරෙකට ගල් ගහන පෝස්ට් එකක් තියෙන්නේ. අදහස් ගැලපිල්ල සුපිරියි මචං. ඔෆීස් එකේ ඉන්න නිසා සිංදුව අහන්න නොවීම දුකකි.

    ReplyDelete
  4. අම්මේ උඔ පැහිලා තියෙන තරමක්,මොනවා උනත් ගන්න දෙයක් තියෙනවා මේකේ

    ReplyDelete
  5. වසන්තයට පෙර වසන්තය නොසොයන්න
    වසන්තය ආ විට ගිම්හානය නොසොයන්න
    ගිමිහානය ආ විට වසන්තය ගැන සිහින නොදකින්න
    සෘතුන් සියල්ල මඟ හැරිය නොහැකිය
    නවතාලියද නොහැකිය
    එබැවින් පැමිණි සෘතුව තුටු සිතින් විදගන්න....

    ReplyDelete
  6. තේරෙන්නෑ ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. පිනුම් තුනයි බල්ටි හතරක් ගසමින් හැම වචනයක්ම එකෙන්ම අනුමත කරමි ... !!

    ReplyDelete
  8. ආදරේ කියන්නේ මාරාන්තික රෝගයක් බං. රෝගලක්ෂණ අම්බානක තියනවා. ගොඩක් අදර කතා කසාදෙන් කෙලවර වෙනවා. හැබැයි කසාදෙ නමට විතරයි ආදරේ නෑ.. තවත් ඒවා කෙලවර වෙන්නේ දික්කසාදයෙන්. කරන්න පුළුවන් දහදුරා වැඩ ඔක්කොම කරලා මගුල් රැයේදී තවමත් ජපන් කොඩි එලලා පතිවත හොයන මිනිස්සු ඉන්න රට හැදෙන්න තව කල්ප කාලයක් යාවි මයේ හිතේ

    ReplyDelete
  9. සැර වැඩි තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
  10. සින්දුවට දීලා තියෙන වටිනාකම උපරිමයි. සින්දුවෙ අදහස තේරුම්ගන්න, අයියා ලියපු මේ විචාරෙ ෆට්ටයි!! ආදරේ ගැන හැම අස්සක් මුල්ලක්ම නැතත් මූලිකම.., හැමෝම කතා කරන.., ඒත් කතා කලාට ඉවරයක් නැති පොදු කාරණා කීපයක්ම වෙනස් විදියට ගලපලා ලියලා තියෙනවානෙ. මටනම් මේ විචාරෙ කියවද්දි හෙන රහයි!! :D

    ReplyDelete
  11. ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි..මෙහෙම ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්න...ඔහුගේම පොතක් දොරට වඩිනා උත්සවයකදී මේ පදපෙළ හදිසියේ විවේචනයට ලක් වුයේ ළගකදී අපහැර ගිය මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් අතින්. ඔහු කීවේ කිසිදිනක ප්‍රේමය රාගයෙන් තොර විය නොහැකි බවත්...සුනිල් එසේ කියනවා නම් ඔහු ලෙඩෙකු බවත්ය. මේ ප්‍රකාශය පිළිබද උරණ වී සුනිල් සුචරිතට එරෙහිව එකෙනෙහිම විරෝධය පල කලද සුචරිත ගම්ලත් ශූරීන් යලි යලිත් කීවේ තමාගේ අදහස එයම බවයි.

    ප්‍රේමය රාගයෙන් තොර නම් කිසිදිනක මතු පරපුර බිහිකල නොහැකි වනු ඇත. සෑම ප්‍රේමයක් තුලම අඩු වැඩි වශයෙන් රාගය මුසුව පවතී යන්න මගේ වැටහීමයි. නමුත් ප්‍රේමය පරදා රාගය ඉස්මතු වූ කල්හි ප්‍රේමයේ සොදුරු බව වෙනුවට එහි ඇති සැඩ බව අත්දැකිය හැකි වනු ඇත.

    ReplyDelete
  12. ප.ලි - ඔබ...ඔහු හෝ ඇය හෝ නාදුනන්නා විය හැක.ඔබ ඇය නම් ඔබව තේරුම් ගත හැකි නාදුනන්නෙකු ඔහු කර ගන්න.ඔබ ඔහු නම් කිසිදිනක ඔබ ඔහු වීමට ඉඩ නොතැබෙන පරිදි ඇය තනි නොකරන්න.ඔබ නදුනන්නා නම්...හ්ම්ම්ම්...සමහර විටෙක ඔබට ලැබෙනුයේ පාරිශුද්දත්වය ලෙස ලේ බිඳක් පෙන්විය හැකි ඇය නොවිය හැක.නමුත් ඇය ඔබට ඇඟ පුරා දුවන සෑම ලේ බිඳකින්ම ආදරය කරනු ඇත.
    .....
    ....
    ...
    ..
    .
    සහතික ඇත්ත :)

    ReplyDelete

හිතුනේ මොනවද?